2023 පෙබරවාරි 12 වන ඉරිදා

පනත කියන විදියට මැතිවරණ වියදම් සීමාකළ හැකිද?

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 77

සමානුපාතික මැතිවරණ ක්‍රමයත් සමඟ නිර්මාණය වූ මනාප පොරයත් සමඟ බොහෝ ව්‍යාපාරිකයන්ගේ හා විවිධ පුද්ගලයන්ගේ කළු සල්ලිද මැතිවරණ පොර පිටියට ඇදී ආවේය. තමන්ගේ මනාප වැඩිකර ගැනීම සඳහා අපේක්ෂකයෝ හා දේශපාලන පක්ෂ අනවශ්‍ය ලෙස මුදල් විශාල ප්‍රමාණයක් වැය කිරීමට පියවර ගත්හ. වර්තමානයේ ඇතැම් පුද්ගලයන් දේශපාලනයට එක්වන්නේ 'මිල මුදල් රුස් කර ගැනීමේ' පරමාර්ථයෙන් බව පෙනෙන්නට තිබේ.

ඔවුනට මුදල් ලැබෙන්නේ විවිධ ව්‍යාපාරිකයන්ගෙනි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන්ද මිලියන ගණනින් මුදල් ලැබෙන අවස්ථාද එමටය. තමන්ට උපකාර කළවුන්ට ප්‍රතිඋපකාර කළ යුතුය. ඒ සඳහා වන පොරොන්දුව වන්නේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු විවිධ කොන්ත්‍රාත් හෝ වෙනත් උපකාර ලබා දෙන බවයි.. පිරිසුදු චේතනාවෙන් දේශපාලනයට පිවිසෙන පිරිස ඉතා අල්පය. නාමයෝජනා ලබාදීමේදී දේශපාලන පක්ෂ සලකා බැලිය යුතු මූලික නිර්ණායක අටක් ඇතුළත් ප්‍රකාශයක් 2015 වසරේ පැෆරල් සංවිධානයේ මූලිකත්වයෙන් සියලු පක්ෂවලට ලබා දුන්නේය.

එම නිර්ණායක අතර අපරාධවලට වැරදිකරුවන් වූ පුද්ගලයන් ජාවාරම්කරුවන්, පරිසරය විනාශ කරන්නන්, දේශපාලන බලය අනිසි ලෙස භාවිත කළ පුද්ගලයන් වැනි අයට නාමයෝජනා නොදිය යුතු බව සඳහන් වී තිබිණි.  එහෙත් බොහෝ විට නාම යෝජනා ලබා දෙන විට බොහෝ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් සැළකිළිමත් නොවන බව පෙනෙන්නට තිබේ. විවිධ අපරාධ චෝදනා, දූෂණ, වංචාවලට සම්බන්ධ පිරිසටද පිරිස නාම යෝජනා ලබාදෙනු දැකිය හැකිය. ඇතැම් පක්ෂවලට අවශ්‍ය වැඩියෙන් මුදල් වියදම් කළ හැකි, කෙසේ හෝ ජයග්‍රහණය කළ හැකි අස්සයකු විනා ජනතාවට සේවය කළ හැකි සාධාරණ පුද්ගලයන් නොවේ. බොහෝ විට විවිධ දූෂිත පුද්ගලයන්ගේ සාධාරණ නොවන අන්දමින් ඉපැයූ මුදල් මැතිවරණ පොර පිටිය පුරා විසිරී ගියේය. මෙවැනි වාතාවරණයක් යටතේ මැතිවරණ වියදම් නියාමනය කළ යුතු බවට විවිධ සංවිධාන රජයෙන් ඉල්ලා තිබුණේ බොහෝ කලක සිටය.

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පසුගිය ජනවාරි 19දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණේ එම ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙසිනි. එම පනත මගින් මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් නොකෙරෙන අතර ජනාධිපතිවරයාගේ සිට පළාත්පාලන ආයතන මන්ත්‍රිවරයා දක්වා සියලුම අපේක්ෂකයන්ගේ වියදම් පාලනය කිරීමටය.  ඔවුන් දරන වියදම්වල විනිවිදභාවය රටේ ජනතාවට දැනගැනීමට අවශ්‍ය බැවින් ගිණුම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස එම පනතේ සඳහන්ය. වැරදි ගිණුම් ප්‍රකාශ ඉදිරිපත් කළහොත් හෝ අසත්‍ය තොරතුරු ලබා දුන්නොත් නීති විරෝධීව මැතිවරණ කටයුතුවල යෙදුන බවට චෝදනා කරමින් දඬුවම් කිරීමට එම මැතිවරණ පනත අනුව බලය හිමිවේ.

මේ සම්බන්ධයෙන් පසුගියදා නීතියක් සම්මත කරගන්නා තෙක් එවැනි නීතියක් රටේ තිබුණේ නැත. 1977ට පෙර පැවැති කේවල ආසන ක්‍රමය සහිත මැතිවරණවලදී ඒ ඒ අපේක්ෂකයන් තම වියදම් අදාළ දිස්ත්‍රික් මැතිවරණ නිලධාරියා වෙත හෝ මැතිවරණ කොමසාරිස්වරයා වෙත නිරවද්‍යව ලබා දීම අත්‍යවශ්‍ය කොන්දේසියක් විය. 1946 ලංකා පාර්ලිමේන්තු ආඥා පනත මගින් අදාළ නීති එවක හඳුන්වා දී තිබිණි. 1978 සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ ක්‍රමය වෙනස් වූ විට  එම නීතිය අහෝසි වී ගියේය. 2005 ක්‍රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියට මුලින්ම අනුමැතිය ප්‍රකාශ කළ රටක් වන්නේ ශ්‍රී ලංකාවයි. මැතිවරණයකදී පිළිගත් දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම්, අපේක්ෂකයන් මැතිවරණයට දරන ලද වියදම් සම්බන්ධයෙන් විනිවිදභාවයක් ඇති කිරීමට හා වියදම් සීමාකිරීමට අදාළව 2016 වසරේ 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත, 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත, 1982 අංක 02 දරන පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීමේ ආඥා පනත යන පනත් සංශෝධනය සඳහා මැතිවරණ කොමිසම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක්ද සකස් කොට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ එය පිළිගැනුණද ක්‍රියාවට නැංවුණේ නැත.

කිසියම් පුද්ගලයකු මැතිවරණයක් සඳහා වැය කළ යුතු මුදල් ප්‍රමාණය හෙවත් අවසර ලත් මුදල් ප්‍රමාණය නිශ්චය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පනවා ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව වෙතය. නාමයෝජනා ලබා දීම අවසන්වී දින පහක කාලයක් තුළ දේශපාලන පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු කොමිෂන් සභාව අවසර ලත් මුදල තීරණය කළ යුතුවේ. ඒ අනුව මැතිවරණ කොමිසම පසුගියදා නිර්දේශ කළේ එක් ඡන්දදායකයකු වෙනුවෙන් ඡන්ද අපේක්ෂකයකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 20ක් ලෙසිනි.

මැතිවරණ වියදම් නියාමනය සඳහා පනතක් සම්මත කරගෙන තිබුණද ඇතැමුන් එය නොසළකා හැර කටයුතු කිරීමට පුළුවන. මැතිවරණයකට සීමාව ඉක්මවා මුදල් වියදම් කළහොත් ගතහැකි පියවර සම්බන්ධයෙන් අප විමසා සිටියේ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගෙනි‍. ''මැතිවරණයකට නියමිත මුදලට වඩා වියදම් කළහොත් රුපියල් 300ක දඩයක්ද, තනතුර අහිමිවීම සහ. වසර තුනක් ගතවනතුරු මැතිවරණයකට ඉදිරිපත්වීමට හෝ ඡන්දය භාවිත කිරීමටද නොහැකියි.'' යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

රුපියල් 300ක දඩයක් යනු වර්තමානයේ ඉතා සොච්චම් මුදලකි. එවැනි දඩයක් පැමිණවීම තුළින් අපේක්ෂකයන් වැරදි කිරීමෙන් වැළකී සිටිය හැකියැයි සිතිය නොහැකිය. මෙවැනි සුළු දඩයක් නියම කර ඇත්තේ මන්දැයි අප රෝහණ හෙට්ටිආරච්චි මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ මෙම පනත සකස් කර ඇත්තේ යල් පැනගිය පනත්වලට අනුකූලව යැයි සඳහන් කළේය. ''මේ ගොල්ලෝ අනුගමනය කර තිබෙන්නේ 1950 ගණන්වල හෝ 60 ගණන්වල හදපු ''මැතිවරණ වැරදි'' යටතේ පවතින පැරණි පනතේ දඬුවම් අනුවයි.'' යනුවෙන් සඳහන් කළේය.

මැතිවරණයක් සඳහා කෙතරම් මුදලක් වියදම් කළේද යන්න පැහැදිලිව කිසිවකුට පැවසිය නොහැකිය. එවැනි තත්ත්වයක් යටතේ අපේක්ෂකයකු වියදම් කළ මුදල් ප්‍රමාණය තහවුරු කර ගන්නේ කෙසේදැයි අපි හෙට්ටිආරච්චි මහතාගෙන් විමසීමු. 
''ඡන්ද අපේක්ෂකයා තමන් වියදම් කළ මුදල් ප්‍රමාණය තහවුරු කරන වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. යම් හෙයකින් ඔහු ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කළහොත් එම කොට්ඨාශයේ ඡන්දදායකුට හෝ වෙනත් දේශපාලන පක්ෂයකින් එම කොට්ඨාශයට තරග කළ අපේක්ෂකයකුට  ඉහත කී පුද්ගලයා ඉදිරිපත්  කළ වියදම් වාර්තා වැරදි බවට සනාථ කිරීමේ හැකියාවක් ඇත්නම් ඉහත කී පුද්ගලයාට එරෙහිව අභියෝග කළ හැකියි. අපේක්ෂකයකුට ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 20යි. එක් ඡන්ද කොට්ඨාසයක ඡන්ද දායකයන් 3000ක් සිටී නම් ඔහුට  වැය කළ හැකි උපරිම මුදල රුපියල් 60,000ක් පමණයි. දේශපාලන පක්ෂවලට වියදම් කළ හැක්කේ සියලුම කොට්ඨාසවල ඡන්ද දායක ප්‍රමාණය විස්සෙන් වැඩි කරලා එම සංඛ්‍යාවෙන් සියයට 60ක් පමණයි. දෙවැනි ලැයිස්තුවේ (කාන්තාවන් සියයට 50ක් සහ පුරුෂ සියයට 50) සිටින අපේක්ෂකයන්ට සමස්ථ පළාත්පාලන බල ප්‍රදේශයේම ඡන්ද ප්‍රමාණය විස්සෙන් වැඩිකොට ඉන් සියයට 40ක ප්‍රමාණයක් පමණයි වැය කළ හැක්කේ. මේ සම්බන්ධයෙන් ගැසට් කර තිබෙනවා. තවම ගැසට් එක එළියට ඇවිත් නැහැ.'' යනුවෙන් සඳහන් කළේය.

 

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා